අවස්ථා 10151කදී නීති විරෝධී අයුරින් ගිණුම් 89ක් හරහා රුපියල් බිලියන 74ක් පිටරටට ප්‍රේෂණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රටින් නීති විරෝධී ලෙස මුදල් පිටකිරීම සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 5ක් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
"ගිණුම් 89ක් මගින් මුදල් ප්‍රේශණය කරලා තියෙනවා අවස්ථා 10,151කදී. රටින් පිටකර තිබෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74ක්. එම විමර්ශනවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් ඇතුළු විධායක නිලධාරීන් 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ දියත් කරමින් පවතින්නේ. මේ අයට මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතිනවා ටෙලිග්රැෆික් ට්‍රාන්සර් යටතේ මෙය සිදුකරලා තිබෙන්නේ."